පොඩ්ඩන්ට අවුරුදු…..

 In Amuzed, IMCD Projects

 


පසුගිය සෙනසුරාදා, ඒ කියන්නේ අප්‍රේල්  22 වෙනිදා අපේ IMCD පවුලේ සාමාජිකයන් සියලුමදෙනට බොහොම විශේෂ දිනයක් වුනා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. අපි හැමෝම හරිම අසාවෙන්, උද්‍යෝගයෙන් මග බලාගෙන උන්නු Amuzed වාර්ෂික බක්මහ උළෙල, බොහෝම සාර්ථකව සිදුකිරීමට එයාලට හැකිවුණු නිසා.

IMCD සංවිධානයේ එක් ව්‍යාපෘතියක් වන Amuzedව්‍යාපෘතිය විසින් වාර්ෂිකව සංවිධානය කරන මේ බක්මහ උළෙල ටිකක් සුවිශේෂ එකක්. ඒකට හේතුව තමා, IMCD සාමාජිකයන් හැමෝම වගේ සහභාගීවුනත් මේක එයාලටම වෙන්වුන උත්සවයක් නොවන එක. ඇත්තටම මේ උත්සවය කරන්නේ කවුරු වෙනුවෙන්ද? එයාලා මේක කරන්නේ සමාජයේ දකින්න ලැබෙන එක අපූරු පිරිසක් වෙනුවෙන්. ළමා නිවාස වල ඉන්න පුංචි නංගිලා මල්ලිලා, වැඩිහිටි නිවාසවල ඉන්න ආච්චිලා සීයලා, දීර්ඝ කාලීනව නේවාසික ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවෝ, විශේෂ අවශ්‍යතා ඇති ළමයි වගේම අපි අතර ඉන්න අපිට නිතරම උදව්කරන අඩු වරප්‍රසාදලාභී පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් තමා මේක හැම අවුරුද්දකම අලුත් අවුරුදු සමයේ සිදුකරන්නේ.

ඉතින් මේපාර අපි අලුත් අවුරුද්දු සතුට බෙදාගන්න ගියේ මහරගම, පමුණුව සුචරිතෝධය ළමා නිවාසයේ ඉන්න අහිංසක පොඩිත්තන් 35 දෙනෙක් එක්ක. දවස් ගණනාවක මහන්සියෙන් පස්සේ සෙනසුරාදා උදේ පාන්දරම එතනට ගිය අපිව පිළිගන්න බලාගෙන හිටපු එයාලගේ හිතේ තිබුන සතුට, අපි හැමදෙනා තුලම ඇති කලේ ලොකු උද්‍යෝගයක්. එදා මුළු දවස පුරාම උනත් මහන්සි නොබලා වැඩකරන්න හැකියාවක් ඒ උද්‍යෝගය ඇතුලෙම රැදිලා තිබුනා.

බොහොම චාරිත්‍රානුකූලව ආරම්භවුන මේ පුංචි පොඩිත්තන්ගේ බක්මහ උළෙලේ අවුරුදු කැවිලි, තෑගී බෝග වගේම නොනවතින හිනා හඩිනුත් අඩුවක් තිබුනේ නෑ. අපිත් එක්ක එදා එකතුවුන සියලු දරු දැරියන් සෙමෙන් මනස වැඩෙන දරුවන් වු නිසා එයාලත් එක්ක ගොඩක් බැරෑරුම අවුරුදු ක්‍රීඩා කරන්න අපිට පුළුවන් වුනේනම් නෑ. නමුත් අලියට ඇහැ තැබීම, යෝගට් කැවීම, සංගීත පුටු, සංගීත තොප්පි, දෙහි ගෙඩි එකතු කිරීම වගේ අපූරු ක්‍රීඩා ගොඩකට, අපේ සාමාජික සොයුරු සොයුරියන් එක්ක සහභාගිවෙන්නත් එයාලා ගොඩක් උනන්දු වුනා.

හැබයි මේ මොනවටත් වඩා එයාල වැඩියෙන්ම කැමති වුනේ අපිත් එක්ක කතාකරන්න. අපිත් එක්ක සින්දු කියල නටන්න… ඒ බව අපි අපේ පරණ අද්දැකීම්වලින්ම දැනගෙන හිටියා. ඉතින් එයාලත් එක්ක මේ හැමදෙයක්ම කරන්නත් අපේ සාමාජිකයෝ හැමෝම බොහොම කැමැත්තෙන් ලෑස්තිවෙලා හිටියා. ඒකෙන් මේ දෙගොල්ලොම ගොඩක් සතුටුවුනා විතරක් නෙවෙයි, එදා ඒ ලබාගත්ත මතකයන් මුළු ජිවිත කාලය පුරාවටම අපි හැමෝගෙම හිත්වල පුංචි හරි සතුටක් ඇති කරන බවත් අපි හැමෝම විශ්වාස කරනවා.

මුළු දවස පුරාම අපිත් එක්ක සිනාවෙන් ගතකරපු මෙයාලගේ දක්ෂතා අගයකරන්න මේ අයට තෑගි ලබාදෙන්නත් අපි අමතක කලේ නෑ. මෙයාලට විතරක් නෙවෙයි, අපිත් එක්ක එදා එකතු වෙන්න අවස්ථාව නොලැබුණු, මේ ළමා නිවාසයේම සිටින තවත් ළමයි 70කට ආසන්න පිරිසකට අවශ්‍ය ක්‍රීඩා උපකරණ, රසකැවිලි, බෙහෙත් වර්ග එහෙම ලබාදෙන්නත් Amuzed කණ්ඩායමේ අයියලා අක්කලා ලෑස්තිවෙලා හිටියා. ඒ වගේම IMCD සමාජය මගින් මෙම ළමා නිවාසයේ භාවිතය සඳහා වියලි අහාර වර්ග රැසකුත් එදා පරිත්‍යාග කරනු ලැබුනා.

එදා දවසත් අපි හැමෝටම අමතක නොවන දවසක් වුන බව විශේෂයෙන් කිවයුතු නෑ. ඒ බව අපිට විවිධ මාධ්‍යවලින් ලැබුණු ප්‍රතිචාරවලින් පැහැදිලියි. මේ හැම දෙයක්ම කිරීමට හැකියාව ලැබුනේ වෙන කවුරුත් නිසා නෙවෙයි. හැමදාමත් අපිත් එක්ක ඉන්න ඔබ නිසාමයි. Amuzedපොඩ්ඩන්ගේ අවුරුදු උත්සවය මෙලෙස සාර්ථක කරගැනීමට විවිධ අයුරින් අපිට සහය දුන්නු ඔයාලා හැමෝටම ස්තුති කරන්න, IMCD හි Amuzed අපි මේක අවස්ථාවක් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි, අපේ IMCD සාමාජිකයන් හැමෝටමත් මේ ස්තුතියෙන් කොටසක් හිමිවිය යුතු බව අනිවාර්යයෙන්ම කිවයුතුයි. ඉදිරියේදීත් මේ වගේ අහිංසක සිතකට හිනාවක් ගෙනදෙන්න ඔබේ නොමද සහයෝගය අපට ලැබෙන බවත් විශ්වාසයි.

අපේ ෆේස්බුක් සබැඳිය

ඉතින් එන්න අප සමඟ ඔවුන්ට සිනාසෙන්නට උදවුවක් වන්නට……

__ඔෂාන් ගුණතිලක__

Leave a Comment