සීතල නුවරඑළියට සහෝදරත්වයේ දෑත් දිගු කරන්නට උණුසුම් හදවත් ඇති ඔබට ආරාධනා 

 In IMCD Projects, Needy Readers
IMCD නැත්නම් International Movement for Community Development කියන්නේ, “අපි , අපි අතරෙන්ම ඇති කරගන්න බැඳීම් තුලින් අපේ සමාජයේ සිටිනා, අවශ්‍යතා ඇති දරුවන්ගේ ඒ අවශ්‍යතා හඳුනාගෙන එයාලගේ ජිවන තත්වය නගා සිටුවීම”, තම උතුම් පරමාර්ථය කරගත්ත තරුණ සංවිධානයක්. 2012 අවුරුද්දේ IMCD අපි ගමන් ආරම්භ කරන්නේ තරුණයන් තුන් දෙනෙක්ගෙන්. එකින් එක යදම් බැඳලා, ශක්තිමත් වෙලා, අතින් ඇත යා වෙලා, අද අපි රජයේ ලියාපදිංචි, ලාභ අරමුණු කර නොගත්, රාජ්‍ය නොවන සංවිධානයක්. අපේ තේමාව ” සමාජයෙන් සමාජයට, සමාජය සමඟ (From the society, To the society, With the society) බල ගැන්වෙන්නේ උසස් අධ්‍යාපනය ලබන, උද්යෝගිමත්, කාර්යශූර වගේම සමාජ මෙහෙවරට ඇති කැපවීම තම ජිවිතේ කොටසක් කරගත් තරුණ තරුණියන් පිරිසකගේ එකමුතුවකින්. මේ එකමුතුව හරහා, අති දැවැන්ත සාමුහික සමාජ මෙහෙවරක් අපි ඉටු කරමින් සිටින බව මතක් කරන්නේ නිහතමානී ආඩම්බරයකින්.
Needy Readers අපි, IMCD පවුලේ පළමු සහ ප්‍රධානතම ව්‍යාපෘතියක්. අපේ බලාපොරොත්තුව සමාජය කේන්ද්‍ර කරගත් සංවර්ධනයක් ඇතිකිරීම. එදා Needy Readers ආරම්භයේදී, “කියවීමට රුචිය ඇති නමුත්, ඒ සඳහා ප්‍රමාණවත් පොත් සහ පුස්තකාල පහසුකම් නොමැති පාසල් දරුවන්ට විශ්වය දැකීමට සහ ජය ගැනීමට අවශ්‍ය දැනුම ලබා දෙන පොත් පරිත්‍යාග කිරීම වැනි උතුම් පරමාර්ථයකින් වැඩෙන්නට පටන් ගත් මෙම ව්‍යාපෘතිය අද වෙද්දී අරමුණු දළු ලියලමින් සමාජයේ විවධ  ස්ථර  වල ජීවත්වෙන සහෝදර ප්‍රජාව උදෙසා පොත් ප්‍රදානයන් සිදු කරන්නටත් සමත් වෙලා තියනවා.
2012 අවුරුද්දේ අගෝස්තු 05, Needy Readers විදියට පළමු පියවර ඉදිරියට තියපු අපි, 2017 අවුරුද්ද වෙනකොට තරුණ ස්වේච්ඡා සාමාජිකයන් 500 කගෙන් සන්නද්ධ වෙලා පොත් 90,000 කට ආසන්න ප්‍රමාණයක් දීපව්‍යාප්තව බෙදා දෙන්න සමත් වෙන්නේ, ව්‍යාපෘතියේ අරමුණු මල් ඵල ගන්වමින්.
2017 Needy Readers සහෝදරත්වයේ දෑත් නුවරඑලියට
2017 අවුරුද්දේ අපේ පළමු වැඩසටහන නුවරඑළියේ අඩු පහසුකම් ඇති පාසල් 08ක් කේන්ද්‍ර කරගෙන පවත්වන්න අවශ්‍ය කටයුතු මේ වෙද්දී සැකසෙමින් පවතිනවා. ඉතින්, පොත් කියවන, පොත් වලට ආදරය කරන, ඔබ සියලු දෙනාගේ සහෝදරත්වයේ සහයෝගය NR අපි බලාපොරොත්තු වෙනවා.
පොත් සවාරිය 02
පොත් සවාරිය 2017: මේක අපූරු සවාරියක් ; අපිට අවශ්‍ය පොත් එකතු කර ගන්න යන ගමන තමයි මේ සවාරිය. මේ ගමින් ගමට, දොරින් දොරට ගිහින් පොත්පත් වලට ආදරය කරන, පොත්පත් කියවන පරිත්‍යාගශීලින්ගෙන් පොත් එකතු කරන දැවැන්ත වැඩසටහනක්. පොත් සවාරිය 01 දියත් කෙරුනේ 2014 වසරේ. ඒ වැඩසටහන ඇති සාර්ථක වුනු හින්දම මෙවරත් අපි පොත් සවාරිය 02 මෙහෙයුම දියත් කරන්න ලෑස්තියි.
නුවරඑළියේ පැවැත්වීමට නියමිත පොත් ප්‍රදානයට සමගාමීව පවත්වන පොත් සවාරිය 02 සඳහා ඔබ කියවා අවසන් කළ :
– සිංහල / ඉංග්‍රීසි නවකතා පොත්
– ළමා කතන්දර පොත්
– වෙනත් අධ්‍යාපනික පොත්
– ශබ්ද කෝෂ
– දමිල පොත්
පරිත්‍යාග කරන්න දැන් ඔබටත් පුළුවන්. එසේ නැතිනම් මුල්‍යමය සහයෝගය දක්වන්නත් ඔබට අවස්ථාව තියනවා.
“කළුවරෙත් ඇස් ඇරගෙන එළිය හොයන, එළිය  ගැන හීන දකින පුංචි උන්ට, එළිය දකින්න ආලෝකයක් දල්වන්න අපිත් එක්ක එකතු වෙන්න ඔබට සහෝදරත්වයේ දෑත් දිගු කරන්න අපි සූදානම්.”
වැඩි විස්තර සඳහා – https://goo.gl/cNdY3G
අමතන්න : 077 827 5050 / 077 213 8112
වෙබ්පිටුව : www.imcds .org
ඊමේල්       : needyreaders@imcds.org
ඔබේ පොත් ගෙනවිත් භාර දෙන්න : International Movement for Community Development, අංක 8/23, ශ්‍රී සිද්ධාර්ත පාර, කිරුළපන
ලිව්වේ – ජනිත්‍රිකා ජයසුන්දර

Leave a Comment